20121201

රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග

මෙම පරිශීලනයේදී වස්තූන් නොසලකා හරින්න.
වර්ණ රේඛා හා හැඩතල වශයෙන්ද
ආලෝකය හා අඳුර වෙන් වශයෙන්ද
රිද්මයානුකූලව සම්පිණ්ඩණය කරගෙන ඇති අයුරු
අධ්‍යයනය කරන්න.


Steve McCurry
ඉතාම දක්ෂ අයුරින් ඔහුගේ රූප රාමුව තුළ
වර්ණ හැඩ තල හා රේඛා ආදිය
නිරායාසයෙන් සම්පිණ්ඩණය කරගන්නවා.
එවන් විශිෂ්ඨයින්ගේ ඡායාරූප හැදෑරීම
දෘශ්‍ය කලාවට නවකයින්ට පමණක් නොව
ප්‍රවීණයන්ටද හොඳ වර්ධනීය අත්දැකීමක්.


ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
එකිනෙකට ප්‍රති විරුද්ධ නිල් සහ කහ වර්ණ දෙක
මනා රිද්මයකින් සංකලනය වී තිබෙනවා.

ස්ත්‍රියගේ කහ පදාසයට ඉතා සුන්දර අයුරින් සංගත වී ඇති පසුබිමේ කහ පදාස නිසා
ඇය එම කහ පදාසයෙන් ඉවත්වී යන ස්වභාවයක් දකිනවා.

කහ පදාස වල ඇති නාරි ලාලිත්‍යමය රිද්මයට සැසඳෙන අයුරින්
නිල් පැහැ පදාස ස්ථාවර දැඩි ලක්ෂණ සහිත රිද්මයක් සමග
ඡායාරූපය හැඩ කරනවා.

දෙපස ඇති සටහන් වල ඇති නිල් සහ කහ වර්ණ රටා
ඡායාරූපය තුළ දකින්නට ඇසත් හිතත් හුරු කරගන්න.
මෙම ආකාරයට ඔබ දකින දසුන් වර්ණ රටා වලට
වෙන්කර විඳින්න.

==========================================
ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ
ආලෝකය හා අඳුරද වෙන් වශයෙන්
රිද්මයානුකූලව සම්පිණ්ඩණය වී ඇති අයුරු
අධ්‍යයනය කරන්න.



=================================================================================

Hellboy නිර්මාතෘ
Mike Mignola
ඉතාම දක්ෂ අන්දමින්
සිය රාමු සම්පිණ්ඩණය කර ගන්නා ශිල්පියෙක්.
මෙම දසුනේ අරමුණු සංඛ්යාව
අරමුණු තුනකට අවම කරගෙන ඇති මයික්
එම අරමුණු තුනත් තනි අරමුණක් ලෙස
සම්බන්ධ කරගෙන ඇත.



දෘෂ්‍ය කලා රීති රැකීම සහ බිඳීම


Painting by Frank Frazetta
දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන රීති
අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්
දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම්..
අවබෝධයෙන් රැකීම මෙන්ම
අවබෝධයෙන් බිඳීම
කලාවේ හා ශිල්පයේ දියුණුවට හේතු වෙනවා.
නොරැකීමෙන් පිරිහෙන්නේ නැහැයි කියන්නත් බැහැ.
රීති රකින්නට විනය රකින්නට
උත්සාහ කරන්නාගේ සිහිය දියුණු වෙනවා.
නීති රීති නොරකින්නා කරන කියන දේ
සමස්තයක් වශයෙන් පිරිහීම සිදුවෙනවා..

මිනිසාත් ස්වභාව ධර්මයත්
ඉතා තදින් එකිනෙකා මත බැඳී පවතිනවා.
මෙ බැඳීම නිසියාකාරව, මනා තුලනයකින්,
මනා පාලනයකින් ක්‍රියාත්මක වෙන අවස්ථාවන්හිදී
කරන කියන දේ පහසුයි.

දෘශ්‍ය කලාවේදී
රාමුවකට කොටු කරන දෘෂ්‍ය රූප
කිහිපයකට හෝ සමූහයකටත්
අදාල නීති රීති පවතිනවා.

දෘෂ්‍ය කලාවෙදී
බොහෝ දෘෂ්‍ය කලා නිර්මාණ වල
රසිකයාගේ සිත මුලින්ම යොමු කර ගන්නා
නිශ්චිත අරමුණක් තියනවා.
එම අරමුණ
එය පවතින පරිසරයත් සමග පවත්වන බැඳීම අනුව
අපිට පහළ වෙන හැඟීම් වෙනස් වෙනවා.

1, එක් අවස්ථාවක
පරිසරය ඉක්මවා
අරමුණ ඉස්මතු වෙනවා.
2, තවත් අවස්ථාවක
අරමුණ යටපත් කරගෙන
පරිසරය බලය පතුරුවනවා.

1, මුහුණක සමීප රූපයක් පෙන්වන ශිල්පියෙකුට
පරිසරයට වඩා ඒ මුහුණෙහි තියන හැඟීම,
ආලෝකය අඳුර ආදිය වැදගත්.


චරිත ප්‍රකාශන ඡායාරූප වල
පරිසරයේ බලපෑම ඉතාම අවම කිරීමට
ලී ජෙෆ්‍රීස් වැන්නන් කටයුතු කරනවා.
 
Photo by Lee Jefrees
2, ඈත අහසේ පියා සලන කුරුල්ලෙක්,
ඈත දියඹේ පාවෙන රුවල් ඔරුවක් පෙන්වන විට
පරිසරය වැදගත් සාධකයක්.
 මුහුදු රළ, අහසේ වළාකුළු, බැස යන හිරු ආදී
පරිසර සාධකවල වර්ණ, හැඩතල, රිද්ම රටා
ප්‍රධාන අරමුණ කෙරෙහි වගේම
ඡායාරූපයෙන් ඇති කරන හැඟීම් වලට
ඉතා තදින් බල පවත්වනවා.

මේ අවස්ථා දෙකේදීම
අරමුණ අපිට අවශ්‍ය ආකාරයෙන් දැකීමට
රසිකයාගේ දිශානතිය සකස් කර දෙන්නට
අපි දෘශ්‍ය කලා රීති උපයෝගී කර ගන්නවා.

ස්වර්ණමය රීතියත්
දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන
එක් වැදගත් රීතියක්.

ස්වර්ණමය රීතිය කියන්නෙ
මිනිසා ඇසෙන් තොරතුරු
ලබා ගන්න ආකාරයට බලපාන
ස්වභාව ධර්ම නීති ඇසුරෙන් සකස් වුණ
ඉතා පැරණි සම්මතයක්.

ස්වර්ණමය රීතිය මනාව හසුරුවාගත්
නිර්මාණ කරුවෙක් එම රීතිය
උපයෝගී කරගන්නා
දෙවෙනි සහ වඩාත්ම උචිත ක්‍රමය
නිර්මාණයෙන් මතුකරන හැඟීම
උද්දීපනය වන ආකාරයට
නිර්මාණශීලී ලෙස
රීතිය රිසි පරිදි නමා ගැනීමයි.
FRANK FRAZETTAගේ මේ විශිෂ්ඨ සිතුවම ඒ සඳහා හොඳ නිදසුනකි.

මෙහි Death Dealerගේ හිස
ස්වර්ණමය පෙදෙසෙන් ඉවත් වී ඇත්තේ
Death Dealerගේ ක්‍රියාව දිසාවටය.
ඒ මගින් FRANK FRAZETTA
සිතුවමෙහි සමබරතාවය
ඉතා සුඛ නම්‍ය ලෙස
ඔහුට රිසි පරිදි
හසුරුවා ගනියි.
FRANK FRAZETTA කියන්නෙ
ලෝකයෙ මෑත කාලයෙ ජීවත් වුණ
චිත්‍ර ශිල්පීන් අතුරෙන්
විශිෂ්ඨතමයා ලෙස හඳුන්වන්න පුලුවන්.
රේඛා චිත්‍ර අතිනුත්, වර්ණ චිත්‍ර අතිනුත්
ඔහුට සම කිරීමට නොව
සමීප වීමටවත් හැකි කෙනෙක්
මෑත කාලයෙ බිහිවී නැහැ.

ඔහු කලාත්මක චිත්‍රශිල්පියෙක් ලෙස
හැඳින්වෙන්නේ nAthi wuNath

කිසියම් දර්ශනයක් චිත්‍රයට නංවනවිට
ඔහු එම අවස්ථාවට කවන ජීවය
කතාව ලියන ලේඛකයා අපහසුවට පත් කරන තරම්.
ඔහු පිළිබඳව කොතෙක් ලීවත්
ඔහුගෙ එක චිත්‍රයකින් දැනෙන
FRANK FRAZETTA සිතේ මවන්නට බැහැ.
-------------------------------------------------
මේ අවසානය නොවේ.. ආරම්භයයි..

රිද්මය යනු පුනරුක්තියයි.

ඉතිහාසයද පුනරුක්තියකි.
ලොවේ වරක් සිදුවූ සිද්ධියක්
කිසියම් රිද්මයකට අනුව නැවතත් සිදුවෙයි.

සංගීත හා නර්තන කලාවන්හිදී මෙන්ම
ස්වභාව ධර්මයන්හිදී
රිද්මය චක්‍රයක් මෙන් අඛණ්ඩව ගලා යයි.

රෑ දාවල
ඍතු බේදය
වඩදිය බා දිය
වර්ෂාව......
වළාකුලු සිහිල් වී වැස්ස වසී.
වැසිදිය ගං හෝ දියේ ගලා ගොස්
වැව් හා මුහුදු වල පිරෙයි.
ඒ දිය වාෂ්ප වී අහසට නැග
වළාකුළු සේ කැටි ගැසෙයි.
වළාකුලු සිහිල් වී යළිත් වැසි වසී.

මුහුදු රැල්ල වෙරළට ගලා එන්නේ චක්‍රාකාරවය.

අශ්ඨ ලෝක ධර්මය

සංසාර චක්‍රය

නාඩි වැටෙන රිද්මය ස්පර්ශයෙන් දැනේ.
කුරුලු නාද වල රිද්මය කණට ඇසේ.
ගහ කොළ ඇල දොළ ආදියෙහි රිද්මය
ඇසට පෙනේ.
ගසක අතුපතර හා මුල් විහිදී යන සැටියෙන් ද
අත්තක කොළ පිහිටා ඇති සැටියෙන්ද
කොළයක නහර හා දැත් පිහිටා ඇති සැටියෙන්ද
මේ රිද්මය වටහා ගත හැකිය.
බෝ ගසක කොළ සුළඟින් සැලෙනවිට
වායු තරංග වල ඇති රිද්මය අපට ඇසේ.         

කාන්තාරයෙහි වැලි රැල්ල මෙන්ද
සමුද්‍රයෙහි දිය රැල්ල මෙන්ද
ඒ රිද්මය සටහන්වේ.     

සමුද්‍රඝෝෂ වෘත්තය යනු
දිය රැල්ලේ රිද්මය සංගීතයට නැගීමකි.

තිරිඟිතලය යනු
එය චිත්‍රයට නැගීමකි.

ජීවිතය, විශ්වය හා රිද්මය යනු
එකක් ම නොවේදැයි මට සිතේ.
--------------------------------------------------------------------------
විශ්වය ගීතයකි -සේකර